Wednesday, June 24, 2015

මාදින්නාගොඩට තෙරුවන් සරණයි Part1

මාදින්නාගොඩ කියන්නේ රාජගිරියෙ තියෙන පැරණි ගමක්. ඒ  ගමේ වැඩිහරියක් වටවෙලා තියෙන්නේ දියවන්නා ඔයෙන්. එක පැත්තක් මායිම් වෙන්නේ කොළොන්නාවේ බන්ට් එකෙන් ඉවරවෙන වෙල් යායකට. එක පැත්තක් කෙලවර වෙන්නේ මහ නියරට. එකියන්නේ අයි ඩී එච් පැත්තයි අඹගහ හන්දියයි අතර දිවෙන පාරට. අනික් පැත්ත කොටියාගොඩ වෙල් යායට. මාදින්නාගොඩ  ඉඳලා බොරැල්ලට වාහනෙකින් විනාඩි හත අටකින් යන්න පුළුවන්. අපේ අම්මගේ තාත්තා මාතර ඉඳන් ඇවිල්ලා ඉඩම් කඩම් අරගෙන ගෙවල් දොරවල් හැදුවේ මාදින්නාගොඩ. ඉතින් අපේ අම්ම ඉපදුනෙත් එහෙ. අම්මගෙ අම්මා, ඒ කියන්නේ මාදින්නාගොඩ ආච්චි ජීවත් වුනේ එහෙ. මම ඉපදිල අවුරුදු විස්සක් යනකල් ජීවත් වුනේ මරදානේ පොලිස් නිවාසවල නිසා අපි ඉඩ ලැබුණු  වෙලාවල වගේම ඉස්කෝලේ නිවාඩුවට යන්නෙත් එහෙ.

ඒකාලේ රාජගිරියේ හන්දියේ කෝට්ටේ පාරයි රාජගිරිය පාරයි යා වෙන තැන ලොකු බෝ ගහක් තිබුනා. එතනට කිවුවේ බෝගහ හන්දිය කියලා. අපි බොරැල්ලෙන් බස් එකේ ඇවිල්ල ඒ හන්දියෙන් බැහැල රාජගිරිය පාර දිගේ ඇවිදගෙන යනවා මාදින්නාගොඩ යන්න. එහෙම යනකොට හේවාවිතාරණ විද්‍යාලය දකුණු පැත්තේ හම්බුවෙනවා. ඒක අනගාරික ධර්මපාල තුමා ආරම්භ කරපු පාසලක්. එකේ අපේ අම්මා ඉගෙනගෙන ඉවරවෙලා උගන්නලත් තියෙනවා. අම්මා ඒ කාලේ ආඩම්බරයෙන් කියපු දෙයක් තමයි මහගම සේකර මහත්තය අම්ම එක්ක එක ගුරු මණ්ඩලයේ හිටියා කියන එක. ඉතින් ඒ පාර  දිගේ විනාඩි දහයක් විතර යනකොට දකුණු පැත්තට හම්බු වෙනවා මාදින්නාගොඩ පාර. එකේ තව විනාඩි දෙක තුනක් යනකොට  හරිම සුන්දර දර්ශනයක් පෙනෙන්න ගන්නවා. ඒ දියවන්නා ඔයත් ඒ මායිමේ  තියෙන මාදින්නාගොඩ ග්‍රාමයත්. ඒ සුන්දර දසුන බලන්න එතෙන්ටම එන්න ඕනේ. රාජගිරිය පාරත් මාදින්නාගොඩත් යාකරලා පාලමක් තියෙනවා. එකේ දිග මීටර පනහක් විතර ඇති. අපි පොඩිකාලේ එතැන තිබුනේ අඩියට ලී දාපු කෙට්ටු පාලමක්. එකේ දෙන්නෙකුට මාරු වෙන්න විතරයි ඉඩ තිබුනේ. සමහර තැන් වල ලී පටි ගැලවිලා ඔයේ වතුර පේනවා. එතනින් යනකොට වැඩිය බිම බලන්නේ නැතුව පැන ගන්නවා. අපේ ලොකු අම්මගේ පුතා සුනිල් අයියා පාලමේ යනකොට ඒ ලී නැති හිඩැසකින් කකුල ඇතුලට ගිහිල්ල ඉතුරු ජීවිත කාලෙම පොඩි ඇදයක් එක්ක තමයි ජීවත් වුනේ. ඒ කාලේ මුළු දියවන්නා ඔයම ජපන් ජබර වලින් වැහිලා තිබුණු නිසා ඔයට වැටුණු කෙනෙක් ආයේ ගොඩ එනවා බොරු.

No comments:

Post a Comment