Wednesday, June 24, 2015

මාදින්නාගොඩට තෙරුවන් සරණයි Part2

ඒ දවස් වල අහස වලාකුලෙන් තොර සමහරදා උදේ පාන්දරට පාලමේ මාදින්නාගොඩ පැත්තේ ඉදන් බලනකොට ඈතින් සමනළ කන්ද පේනවා. අපි එතන ඉඳන් සිරීපාදේ වඳිනවා. දැන් ඉතින් හතර වටේ උස බිල්ඩින් නිසා ඒ දර්ශනෙත් වන්දනාවත් ඉවරයි. 

ලී පාලම අබලන් වෙනකොට එතෙන්ට ආවා බැරල් පාලමක්. ඒ කියන්නේ හිස් තෙල් බැරල් එකට තියල උඩින් ලී දාපු පාලමක්.  ඔයේ වතුර අඩු වැඩි වෙනකොට ඒක උස් පහත් වෙනවා. ඔය ගලපු කාලෙට ඒ පැත්තෙන් රාජගිරියට යන්න අමාරු නිසා අපි යන්නේ මහ නියර හරහා. සමහර වෙලාවට ඒ පැත්තත් ගලල. අපි එතකොට සපත්තු ගලවල කලිසම් නවාගෙන මහ නියර හරහා යනවා රාජගිරියට බස් එකක අල්ල ගන්න. ඒ බැරල් පාලමෙන් පස්සේ අලුත් පාලමක් හයි කළා එක වාහනයක් විතරක් යන්න පුළුවන්. මාදින්නාගොඩට අලුත් වුනාට එක කොහෙන් හරි ගලවපු පලවෙනි ලෝක යුද්දෙ කාලේ පෙනුම තියෙන පාලමක්.

ඒ කාලේ නැති වුනාට කලක් යනකොට  ඒ පාලම  පාචිච්චි කරන වාහන සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වුනා.  අයි ඩී එච්, කොලොන්නාව, තලවතුගොඩ වගේම කැලණිය කිරිබත්ගොඩ පැතිවල අයත් කැළණි ගඟ පැනල කොළඹ යන්න ෂෝර්ට් කට් එකක් විදිහට මේ පාලම පාවිච්චි කළා. මේ වෙනකොට දවසකට වාහන තුන් හාරදාහක් උදේ හවා මේ පාලමෙන් යනවා. කොච්චර යනවද කියනවනම් පාලම දෙපැත්තෙ පොලිස් නිලදාරීන් දෙන්නෙක් දාල ඉන්නවා උදේ හවා ට්‍රැෆික් කොන්ට්‍රෝල් කරන්න. නැත්නම් එක විනාඩියට හැතැප්මෙක විතර වාහන පෝලිමක් හැදෙනවා. පාලම එන්න එන්නම අබලන් වුනත් නගර සබාවෙන් හරි ආණ්ඩුවෙන් හරි කිසිම දෙයක් කරේ නැහැ. කවුරුත් දන්නවා ලඟදි දවසක වාහන දෙක තුනක් එක්ක මේ පාලම දියවන්නා ඔයට  කඩාගෙන වැටෙනවා කියල.

ඒකටම හරියන්න කෝට්ටේ මහ නගර සබාවෙන් ඊයෙ පෙරේදා පාලම අයිනේ බෝඩ් එකක් ගහල තියෙනවා ඒ එතෙන්ට වෙනකල් අයිති කොට්ටෙට නිසා. ඒකේ ලියල තියෙන්නේ මෙහෙමයි. " කෝට්ටේ නගර සභා සීමාවෙන් ඉවතට යන ඔබ සැමට තෙරුවන් සරණයි.

කෝට්ටේ නගරාධිපති තුමා  කොච්චර බිසී වුනත් විහිළු වලටත් එතුමාට වෙලාවක් වගේම හොඳ සෙන්ස් එකකුත් තියෙන වග පේනවා..........

මාදින්නාගොඩට තෙරුවන් සරණයි Part1

මාදින්නාගොඩ කියන්නේ රාජගිරියෙ තියෙන පැරණි ගමක්. ඒ  ගමේ වැඩිහරියක් වටවෙලා තියෙන්නේ දියවන්නා ඔයෙන්. එක පැත්තක් මායිම් වෙන්නේ කොළොන්නාවේ බන්ට් එකෙන් ඉවරවෙන වෙල් යායකට. එක පැත්තක් කෙලවර වෙන්නේ මහ නියරට. එකියන්නේ අයි ඩී එච් පැත්තයි අඹගහ හන්දියයි අතර දිවෙන පාරට. අනික් පැත්ත කොටියාගොඩ වෙල් යායට. මාදින්නාගොඩ  ඉඳලා බොරැල්ලට වාහනෙකින් විනාඩි හත අටකින් යන්න පුළුවන්. අපේ අම්මගේ තාත්තා මාතර ඉඳන් ඇවිල්ලා ඉඩම් කඩම් අරගෙන ගෙවල් දොරවල් හැදුවේ මාදින්නාගොඩ. ඉතින් අපේ අම්ම ඉපදුනෙත් එහෙ. අම්මගෙ අම්මා, ඒ කියන්නේ මාදින්නාගොඩ ආච්චි ජීවත් වුනේ එහෙ. මම ඉපදිල අවුරුදු විස්සක් යනකල් ජීවත් වුනේ මරදානේ පොලිස් නිවාසවල නිසා අපි ඉඩ ලැබුණු  වෙලාවල වගේම ඉස්කෝලේ නිවාඩුවට යන්නෙත් එහෙ.

ඒකාලේ රාජගිරියේ හන්දියේ කෝට්ටේ පාරයි රාජගිරිය පාරයි යා වෙන තැන ලොකු බෝ ගහක් තිබුනා. එතනට කිවුවේ බෝගහ හන්දිය කියලා. අපි බොරැල්ලෙන් බස් එකේ ඇවිල්ල ඒ හන්දියෙන් බැහැල රාජගිරිය පාර දිගේ ඇවිදගෙන යනවා මාදින්නාගොඩ යන්න. එහෙම යනකොට හේවාවිතාරණ විද්‍යාලය දකුණු පැත්තේ හම්බුවෙනවා. ඒක අනගාරික ධර්මපාල තුමා ආරම්භ කරපු පාසලක්. එකේ අපේ අම්මා ඉගෙනගෙන ඉවරවෙලා උගන්නලත් තියෙනවා. අම්මා ඒ කාලේ ආඩම්බරයෙන් කියපු දෙයක් තමයි මහගම සේකර මහත්තය අම්ම එක්ක එක ගුරු මණ්ඩලයේ හිටියා කියන එක. ඉතින් ඒ පාර  දිගේ විනාඩි දහයක් විතර යනකොට දකුණු පැත්තට හම්බු වෙනවා මාදින්නාගොඩ පාර. එකේ තව විනාඩි දෙක තුනක් යනකොට  හරිම සුන්දර දර්ශනයක් පෙනෙන්න ගන්නවා. ඒ දියවන්නා ඔයත් ඒ මායිමේ  තියෙන මාදින්නාගොඩ ග්‍රාමයත්. ඒ සුන්දර දසුන බලන්න එතෙන්ටම එන්න ඕනේ. රාජගිරිය පාරත් මාදින්නාගොඩත් යාකරලා පාලමක් තියෙනවා. එකේ දිග මීටර පනහක් විතර ඇති. අපි පොඩිකාලේ එතැන තිබුනේ අඩියට ලී දාපු කෙට්ටු පාලමක්. එකේ දෙන්නෙකුට මාරු වෙන්න විතරයි ඉඩ තිබුනේ. සමහර තැන් වල ලී පටි ගැලවිලා ඔයේ වතුර පේනවා. එතනින් යනකොට වැඩිය බිම බලන්නේ නැතුව පැන ගන්නවා. අපේ ලොකු අම්මගේ පුතා සුනිල් අයියා පාලමේ යනකොට ඒ ලී නැති හිඩැසකින් කකුල ඇතුලට ගිහිල්ල ඉතුරු ජීවිත කාලෙම පොඩි ඇදයක් එක්ක තමයි ජීවත් වුනේ. ඒ කාලේ මුළු දියවන්නා ඔයම ජපන් ජබර වලින් වැහිලා තිබුණු නිසා ඔයට වැටුණු කෙනෙක් ආයේ ගොඩ එනවා බොරු.

Monday, June 22, 2015

ටිකට් ගන්න නෝ ටිකට්

ටිකට් ගන්න නෝ ටිකට්

කාලෙකට පස්සෙ ගිය සුමානේ බස් එකකට නැග්ගා තොරණ හන්දියෙන් බොරැල්ලට එන්න. ඉඳගෙන යන්න තියෙනවනම් බස් එකේ යන එකත් එක්තරා ජොලියක්. හැබැයි අර මම කලින් කිවුවා වගේ බස් වල හයි කරලා තියෙන නලාව නම් ගලවන්න ඕනේ. ටික වෙලාවකින් කොන්දොස්තර මහත්තය  ටිකට් ටිකට් කියාගෙන ආවා. මගේ අතේ රුපියල් විස්සක් තිබුනා. මම ඇහැවුව බොරැල්ලට කීයද කියලා . මගේ අතේ තිබුනු විස්ස බලල මිනිහ කිවුව ඒගාන තමයි කියලා. රුපියල් විස්සත් උදුරගෙන වගේ මිනිහ ගියා යන්න. ටිකට් ගන්න කිවුවට දෙන්න කෙනෙක් නැහැ.

ආයේ මිනිහ මගේ පැත්තට එනකම් ඉඳල ඇහැවුව කෝ ටිකට් එක කියල. ඒක ඇහුන්නැහැ වගේ මිනිහ ඇහුව 'මොකක්ද' කියල. මම ආයේම කිවුවා "ටිකට් එක" කියල. මිනිහ මුකුත් නොකියා ඩයිවර් ලඟට ගිහිල්ල එතන උඩ තියෙන කබඩ් එකෙන් ටිකට් මැෂිමක් එලියට ගත්තා. එකට මොන මොනවද කළා. ආපහු මැෂිම තිබුණු තැනටම දැම්ම. දාලා මන් ලඟට ඇවිල්ලා කිවුවා ' මහත්තය ඒකේ බැටරි බැහැල ' කියල . මම ඇහැවුවා "කවද්ද බැටරි බැස්සේ" කියල. මිනිහ මුකුත් නොකිය යන්න ගියා. මම බොරැල්ලෙන් බහින කල්ම මිනිහ මගේ ලඟින් ගියේ අහක බලාගෙන. බහිද්දී මම කිවුවා " මල්ලී ඉක්මනට බැටරි දාගන්න නැත්නම් බස් එකෙත් බැටරි බහීවි කියලා. එහෙම කියද්දී මම හිටියේ ෆුට් බෝඩ් එකට කිට්ටු වෙලා පැනල දුවන්න බලාහෙන.

හවස තව බස් එකකට නැග්ගා. එකේ ටිකට් මැෂිම කැඩිලා රෙපයාර් කරන්න දීලාලු.

ඒ බස් දෙකේම තිබුණු සමාන කම තමයි කොන්දොස්තරට සල්ලි දීපු කිසි කෙනෙක් ටිකට් නොඉල්ලපු එක. මම ටිකට් එක ඉල්ලුවාම ළඟපාත ඉන්න අය මෝඩයෙක් දිහා බලනවා වගේ මගේ දිහා බලනවා දැක්කා.

කොහොම වෙතත් ඒ බස් දෙකේ අයිති කාරයන්ට අබ සරනයි. අඩුම ගානේ මාසේ ෆිනෑන්ස් ගෙවන්න පුළුවන් ගානක් පිල්ලි යැවෙනවා. ආණ්ඩුවට ලැබෙන්න තියෙන ආදායම් බදු පිල්ලි යනවා.

ටිකට් ඉල්ලන්න ගිහිල්ලා ඉස්පිරිතාලෙට ටිකට් එකක් ලැබෙන්න තියෙන ධාරිතාවය වැඩි හින්දා ඊට පස්සෙ බස් එකේ යනකොට කොන්දට සල්ලි දෙනවා විතරයි. ටිකට් නම් ඉල්ලුවේ නැහැ. 

Wednesday, June 10, 2015

වෙල්කම් ටු ශ්‍රී ලංකා බයි අනුර හෑගොඩ

වෙල්කම් ටු ශ්‍රී ලංකා බයි අනුර හෑගොඩ 

ගිය සුමානෙ ලංකාවට ඇවිල්ල කටුනායක එයාර් පෝට් එකෙන් එලියට එනකොට, ජනවාරි අට වෙනිදට පස්සෙ ගහල තියෙන තොරණ යටින් අවා. තොරණේ මැද ගහල තියනවා මෛත්‍රී මහත්තයගේ පින්තුරයක් . යටින් ලියල තියෙනවා "වෙල්කම් ටු ශ්‍රී ලංකා WLECOME TO SRI LANKA " කියලා. ඒක හොඳයි. ලස්සනයි. ඒ එක්කම මතක් වුනා දැනට මාස දෙකකට ඉස්සෙල්ල කටුනායකින් පිටත් වෙන්න ඔය තොරණ යටින්ම යනකොට පෙනුණු මෛත්‍රී මහත්තයගේ පින්තුරයට යටින් ලියල තියෙන්නේ මොකක්ද කියල බලන්න . මොකද එදා වාහනේ හයියෙන් ගිය හින්ද කියවගන්න බැරිවුණා. මේ සැරේ තොරණ පාස් වුනාම මම ඔලුව හරවලා බැලුව. ඒ ගහල තියෙන්නෙත් වෙල්කම් ටු ශ්‍රී ලංකා WELCOME TO SRI LANKA කියලමයි. ඒ කියන්නේ ලංකාවට එනකොටයි ලංකාවෙන් පිට වෙලා යනකොටයි දෙකටම ගහල තියෙන්නෙ WELCOME TO SRI LANKA කියල.  මෛත්‍රී මහත්තය ඒක දැක්ක නම් එතුමාට තදවෙනවා. ඇයි එතුමාගේ පින්තුරේ යටින් එහෙම ලියල තියෙනකොට එතුමාමනේ අහුවෙන්නේ. කමක් නැහැ ඕක ඔච්චර ගණන් ගන්න එපා අනුර .

ආ තවදෙයක්. කටුනායක හයිවේ එකේ කොළඹ පැත්තේ ඉඳල යනකොට පාරේ පැත්තේ තියෙන සයින් බෝඩ් වල කටුනායක පුත්තලම ආදී වශයෙන් ගහල තියෙනවා. ඒකෙම තියෙනවා ගුවන් යානයක රූපයක්. ඒ මේ පාරේම ගුවන් තොටුපොල තියෙනවා කියල පෙන්නන්න. නමුත් ඒ ගුවන් යානයේ ඔලුව තියෙන්නේ මුහුද පැත්තට හැරිලා. ඒකියන්නේ ගුවන් තොටුපොල තියෙන්නේ කලපුව පැත්තේ කියලා. කටුනායකට කිට්ටුවනකොට ඒ රූපය පුත්තලමට හැරෙන පාරට යොමුවෙනවා. නොදන්නා කෙනෙක් හිතන්නේ එයාපෝර්ට් එක එක්කෝ මුහුදේ නැත්නම් පුත්තලම පැත්තේ කියලා. වෙන රටවලත් ගුවන් තොටුපොළට යන පාරවල ඔහොම ගුවන් යානා රූප තියෙනවා. නමුත් ගුවන් තොටුපොල තියෙන පැත්තට තමයි රූපයේ ඔලුව දාලා තියෙන්නේ. ඔය වැරදි සයින් එක දැක දැක අපේ නිලදාරියෝ කී දෙනෙක් රට ගිහිල්ල ඇත්ද?  හැබැයි ඒගොල්ලන්ගේ ඔලුව තියෙන තැනනම් මගෙන් අහන්න එපා. 

Wednesday, April 8, 2015

කටුනායක රුපියල් තුන්සීය


කටුනායක රුපියල් තුන්සීය 

පිට රට යන කෙනෙක් එක්ක කටුනායක ගුවන් තොටුපොල ඇතුලට එන අයගෙන් රුපියල් තුන්සීයක් ගන්න එක හොඳයි. නැතිනම් අපේ සංස්කෘතියේ හැටියට මගී පයර්යන්තයේ ඇඟිල්ලක් ගහන්න බැරිවෙනවා. මම ලෝකයේ ගුවන් තොටුපොළවල් පණහකට විතර ගිහින් තියෙනවා. එත් ඇතුලට යන්න සල්ලි ගන්න එකම ගුවන් තොටුපොල කටුනායක කියලයි මම හිතන්නේ. මම වැරදි වෙන්නත් පුළුවන්. 

එත් රට යන කෙනා බෑග් ටික ඇතුලට දැම්මට පස්සේ අත උස්සල 'යන්නම්' කියන එක අනික් අයගේ ඔලු වලට උඩින් තමයි දකින්න පුළුවන්. චෙක් ඉන් ඒ කියන්නේ බෑග් බාර දීලා ගුවන් යානයට පිවිසෙන්න අවසර පත්රය ගන්න තැන තමන් ගේ පුතා, දුව ඥාතියා, මිතුරා ඉන්නවා බලන්න රුපියල් තුන් සීය දීල ආපු අය එක පොදීයට පොරකනවා වටේටම වහල තියෙන, පිට නොපෙනෙන වීදුරු තාප්පෙ තියෙන පුංචි ඉඩකින් . කාටවත් තේරුම් ගන්න බැහැ රජ ගෙදරත් ඇරලා තියෙන රටේ ගුවන් තොටුපොළ ඇතුලේ පිට නොපෙනෙන වීදුරු තාප්පයක් ගහල වහල තියෙන්නේ ඇයි කියල. ආරක්ෂක හේතුන් මත නම් ඒ ඉඩත් වහල දැම්මොත් තමයි හොඳ. 
 

සීගිරියේ හොඳ ටොයිලට් එකක් හදමු


සීගිරියේ හොඳ ටොයිලට් එකක් හදමු

මං ඉස්සෙල්ලම සිගිරි යනකොට මට වයස අවුරුදු පහක් විතර ඇති. දැන් වෙනකොට හත් අට සැරයක් ගල උඩටම නැගලත් ඇති. ගිය මාසෙත් මුනුබුරාවත් ඇදගෙන, උස්සගෙන උඩටම ගියා. ගල උඩදී මිනිහට ටොයිලට් යන්න ඕනේ උනා. මොනව කරන්නද මාලිගය තිබුණු තැන කෙරවලකට නිදහස් කරලා ඇරියා. කාශ්යප රජතුමා හිටියනම් හිස් ගැසුම් කන්නයි වෙන්නෙ.

මම පොඩි කාලේ ඉඳලම කල්පනා කරනවා මේ ගල උඩ තියෙන ගරා වැටුණු ගොඩනැගිලි ටික ආපහු හදල දාන විදියක්. සාමාන්යයෙන් නම් ගොඩනැගිල්ලක් අබලන් උනාම, ගරා වැටුණාම ආපහු තිබුණු විදිහට හදන්න උත්සාහ කරනවානේ. අනුරාධපුර, පොලොන්නරුව වගේම සිගිරියෙත් අවුරුදු දහස් ගණනක් පරණ ගොඩනැගිලි ගරා වැටිලා සමහර ඒවල අත්තිවාරම විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ.

ආණ්ඩු වලින් අලුත් ගෙවල් හදන්න වියදම් කරන එකේ මේ ටික හදල පදල ගත්තොත් අත්තිවාරමට යන ගාන ඉතුරු කරගන්නත් පුළුවන්.

මට හරි සන්තෝසයි ඊයේ පෙරේදා ආපු ආරංචියට. ඒ, සීගිරි ගලේ උඩට නගින්න එස්කලේටරයක් ඒ කියන්නේ විදුලි පඩිපෙලක් දාන්න යනවා කියන එක. පරක්කු වෙලා හරි ඒවගේ බ්ර්ලියන්ට් අදහසක් ආණ්ඩුවට ආපු එක කොච්චර හොඳද? වයසක වගේම ආබාදිත අයටත් ලේසියෙන්ම  උඩට නගින්න පුළුවන්. දැන් ඉතින් අනෙක් රටවල් අපෙන් කොපි කරන්න ගනීවි. හිමාල කඳු මුදුන් වලට, දැනට නගින්නේ නැති වුනත් ඉස්සරහට නගින්න බලාගෙන මිසරයේ පිරමිඩ් වලට එස්කලේටර් දාන්න ගනීවි. ලංකාවෙන් උපදෙසුත් ගනීවි.

දැන් මගේ ප්ලෑනත් ක්රියාත්මක කරගන්න පුළුවන්. ඒ කියන්නේ සීගිරි ගල උඩ තියෙන ගරා වැටුණු ගොඩනැගිලි ඔක්කොම ආපහු තිබුනටත් වැඩිය හොඳට හදල ගන්නවා. ටොයිලට් වලට කොමෝඩ් හයි කරල, බිඩේ, ඒකියන්නේ පස්ස හෝදන ඒවත් හයි කරලා ගල පාමුල ඉඳලා උඩට වතුර ගන්න මෝටර් දෙකතුනක් දාන්න ඕනේ. කුස්සි වලට ඉලෙක්ට්රික් කුකර් හරි, අවන් එක්ක ගෑස් ලිප් හරි හයි කරලා ග්රනියිට් ටොප් එකක් දාන්න ඕනේ. සොලාර් පැනල් දාලා විදුලිය අරගෙන ෆුල් ඒසී කරන්න ඕනේ. එතකොට සුද්දෝ සීගිරි නැග්ගහම පෙනෙයි අපි ගරා වැටුණු ජාතියක් නොවන වග.කොහොමත් සිගීරිය අයිති රජයට හින්දා කට්ටියට හොලිඩේ බංගලාවකට පාවිච්චි කරන්නත් පුළුවන්. අප්සෙට් දාගත්තාම ඕනනම් හැංගිලා ඉන්නත් පුළුවන්. වෙන කෙනෙක් මේ යෝජනාව ඉදිරිපත් කරන්න ඉස්සෙල්ල මම ඇක්ෂන් ගන්න ඕනේ.

කවුරු හරි මට සංස්කෘතික ඇමති තුමාගේ ඇඩ්රස් එක ඉක්මනට එවනවද?

Thursday, March 12, 2015

පෙම් හදවත පාරලා මෝරන පෙම මෝරවා වැලන්ටයින් මාමා එනවා.

හෑගොඩගේ බ්ලොගය

පෙම් හදවත පාරලා මෝරන පෙම මෝරවා වැලන්ටයින් මාමා එනවා.

උදේම අම්මව රවට්ටලා ගත්තු රුපියල් සීයත් සාක්කුවේ දාගෙන පොඩි පුතා පාරට බැස්සා, අද අති විශේෂ දවසක්. "දුවමු මචං වික්ටෝරියා පාක් එක පැත්තට, එහාට වහින්න යනවා රත්තරන් වැස්සක්". ඒ වැස්සේ හිතේ හැටියට තෙමි තෙමී නටන්න පොඩි පුතා යනවා පුතෙය වගේ යාලුවන්ගේ කරට උඩින් අත දාගෙන. ලිප්ටන් වට රවුම ළඟ මෙලෝ සිහියක් නැතිව කට්ටියක් බෝඩ් ලියනවා. 'ආදරේ කරන්න ඉඩ දියව්', ප්'රේමයේ ස්වයං තීරණ ගැනීමේ අයිතියට සටන් කරමු' , ප්රේමයට අකුල් හෙලන දුෂ්ට වැඩිහිටියන් භංග වේවා' , දේශයේ ප්රේමවන්තයෙනි අන්තිමා සටනටා  සැරසියාව්'.
අපේ පුතෙයත් වචනයක් දැම්මා. "අපි තව ලියමුද 'අසිරිමත් දෙයකි මේ ලොව ප්රේමය නමිනා' කියලා. එහෙමත් නැත්නම් 'නැත ලොවේ රසඳුනා ආදරේ සේ සුවදෙනා' කියල ඩොක්ටර් සරච්චන්ද්ර ලියුව වගේ?". " කවුද හලෝ ඩොක්ටර් සරච්චන්ද්ර කියන්නේ?" "එහෙමනම් ලියමු මහාචාර්ය සුනිල් ආරියරත්න වගේ " ප්රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්යයි පාරිශුධ්දයි සුරම්යයි' කියලා". "ආ...මාත් මේ සුරම්ය එනකල් තමයි බලං ඉන්නෙ." ...මෙන්න එනව කියනකොටම, රම්යලා, සුරම්යලා, සුභාලා රත්තරන් වැස්සේ තෙමෙන්න බලාගෙන. ඇතුළුවීම රුපියල් පනහයි. පිටවීම නොමිලේ.

" ආදරේ කියන්න දන්නෙ නෑ..... ආදරේ කරන්න දන්නෙ නෑ..." අපේ පුතෙය සින්දුවක කෑල්ලක් කියා කියා  කරකැවෙනවා. ඇත්තටම ඒ දන්නෙ නැති හින්දා නේද මේ වගේ විශේෂ දවසක් ඕනෙ වෙන්නෙ. ප්රේමවන්තයෝ එක්ක දෙන්නා එකතු වෙනවා. අහා! බලන්න  පෙම් දිනයේ අසිරිය! සමහර පෙම්වතියො තවම කුලැටියි. ලජ්ජාවෙන් ලේන්සු කොන වික විකා යනවා රත්තරන් වැස්සේ තෙමෙන්න.
" දුටුදා ඉඳලා ලුහු බැන්දා...දන්නවාද මම පෙම් බැන්දා.." කවුද මේ එන්නේ කුඹුරක්  බලාගෙන උදැල්ලක් කර තියාගෙන. මෑන් සින්දුවේ ඉතුරු කෑල්ල කිවුවා. "දන්නවාද මම රන්බණ්ඩා".

' රහසේ බැඳී පෙම් හෙලිවූ දා .... පෙම් රසේට වේදෝ බාදා.." මොන රහසක් ද? මොන බාදා ද? දැන් අපි ප්රේම කරන්නේ ප්රසිද්ධියේ. මුළු ලෝකෙටම පෙනෙන්න. මෙන්න එකට දිනයකුත්. අපේ ආච්චිලගෙ කාලේ වගේ නෙමෙයි. ආචිචිල සීයලා දන්න කෙහෙල්මල් ප්රේමයක් තියෙනවයි?

බඩ ගුරු ගුරු ගානවා. බඩගින්න වැඩි කමට කලන්තේ හැදීගෙන එනවා වගේ. අම්ම උදේ තම්බල දුන්නු පිට්ටු කෑලි දෙක දිරවලා ඇති. ප්ලේන්ටියක් වත් ගැහුවනම්! සුරම්යට චොකලට් එකක්වත් අරන් දෙන්න විදිහක් නැහැ. පන්නිපිටියට යන්න බස් එකට ගානට තියෙන්නෙ. පුතෙයට මතක් උනා මිල්ටන් පෙරේරාගේ පරණ සින්දුවක්. "ඔබේ අත රැගෙන මහා පාරේ සිඟා කෑමේ වුවද එනවා" .

සංගීතය ප්රේමේ ආහාරය කියලා කියනවානේ. හැබෑවම තමයි සින්දු ඇහෙනකොට බඩ පිරෙනවා වගේ. සංගීතය ටිකක් කන්න හිතයි. ලංකාවේ සංගීතය කාපු අය හුඟක් ප්රේම කරන්න ඇති. ප්රේම කරන ගමන් බඩගින්නට සංගීතය කන්නත් ඇති.

සාලිය, අසොකමාලාගේ අතින් අල්ලාගෙන ගේට්ටුව ළඟ ඉන්නවා ඇතුළු වෙන්න බයේ. දීඝ ගාමිණි කඹයක් අතින් අරන් ගේට්ටුව ළඟ එහාට මෙහාට කැරකෙනවා ඇතුලට පැන ගන්න විදියක් නැතිව. උන්මාද චිත්රා ඇතුලේ.

හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා ....සෝබාව දේ මෙපුර.....රෝසා රෝස සාය උස්සා නටාපන්....ප්රේමවන්තයින් නන්ස්ටොප් කැසට් එකට නොනවතින නැටුමේ.
වසී රත්තරන් වැස්සක් වතුපිටි ඇළ දොළ ගං ඉවුරු දෙගොඩ තලා මහා මුහුද කරා. මුහුද? කෝ කරුණා. කරුණා මුහුදේ නාමු ගිලීලා..... පුතෙය නටනවා උදැල්ලට කැපිච්ච පණුවා වගේ කොල්ලො කෙල්ලො ගොඩේ ඇඹරි ඇඹරී. වැලන්ටයින් මාමා ත්රී රෝස් එකක් බිබී වැටට හේත්තු වෙලා හිනාවෙවී බලන් ඉන්නවා. කට්ටියම රත්තරන් වැස්සට තෙමිලා බත් වෙලා. ඉහින් කණින් වතුර බේරෙනවා. 'අන්න මල්ලි මෙහි එනවා...යමු යමු හනිකට මාලා.... දැන් තෙමුණ ඇති.... පුතෙය දුවල ගිහින් පොල් පටවපු ප්රවේට් බස් එකේ එල්ලුනා. රායිට්...යං...! යනවානම් අනේ මං අරන් යන තැනකට යන්න රත්තරන්. සුරාම්යා පාරේ. බස් එක හයිලෙවල් රෝඩ් එකේ පිඹලා යනවා.

අතේ තිබුණු 'අන්තිමා සටනටා සැරසියාවූ' පෝස්ටරය රෝල් කරලා ගේ ළඟ තිබිච්ච බෝක්කුවක් අස්සේ ගහල පුතෙය ගෙට ගොඩ වුනේ "අනේ අම්මේ කන්න මුකුත් නැද්ද" කියලා අහගෙන. අම්ම කුස්සියේ ලිප ළඟ ඉඳන් එබිලා බැලුවා. මේ ඉන්නේ පුතෙය තෙමිච්ච කුකුළා වගේ. "උඹත් ගියාද මයෙ පුතේ රත්තරන් වැස්සෙ තෙමෙන්න? අර මගේ චීත්තයක්අරගෙන ඔය ඔලුව හොඳට පිහිදා ගනින්. නැතිනම් උඹට උන සන්නිපාතෙ හැදේවි. මං ඉඟුරු කොත්තමල්ලි හැළියක් ලිපේ තියන්නම්. උඹට බතල ටික තැම්බෙනකම් ඉවසන්න බැරි නම් රේඩියෝ එක දාගෙන සංගීතෙ ටිකක් කාපන්.



Wednesday, March 11, 2015

ෆුල් ෆේස් හෙල්මට් ප්‍රශ්නයට විසඳුමක්

හැගොඩ ගේ බ්ලොගය

ෆුල් ෆේස් හෙල්මට් ප්‍රශ්නයට විසඳුමක්

ශ්‍රී ලංකාවේ දැනට උද්ගත වී ඇති අපරාධ ක්‍රියා මර්ධනය කිරීමේ පියවරක් ලෙස ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීමට රජය සුදානම් වුවත් විරෝධතාවන් හමුවේ එය නවතා දමා ඇත.

එක්තරා විධියක විසඳුමක් අපහට කල්පනා විය. ඒ සියලුම ෆුල් ෆේස් හෙල්ම්ට් තමන් සිටින වසමේ පොලිස් ස්ථානයේ තම නමින් ලියා පදිංචි කලයුතු අතර ඒ එක් එක් හෙල්මටය සඳහා හඳුනාගැනීමේ අංකයක් නිකුත් කිරීමය. එම අංකය හොඳින් කියවීමට හැකි ලෙස හෙල්මටය ඉදිරිපස සහ පසුපස මුද්‍රණය කලයුතු අතර එය විකිනීමෙදී අලුත් හිමිකරුවාගේ නම ගම හැඳිනීම් පත් අංකය නැවත පොලිසියේ සටහන් කල යුතුය. හෙල්මටය නැති වුවහොත් පැයක් තුල ලංගම ඇති පොලිසියට පැමිණිලි කල යුතුය.

පිස්සු නෙ. 

Saturday, March 7, 2015

සීගිරි ගීයක් ......




සීගිරි ගීයක් ......


සීගිරිය බලන්න යන හැම වෙලාවෙම මොකක් හරි අලුත් දෙයක් අත් දකින්න ලැබෙනවා. ගිය පාර දැක්කා සීගිරි ලඳුන් අතරෙ ඉන්නා ඉන්දියන්, නේපාල වගේම අප්රිකානු සහ දකුණු ඉන්දියානු කොදෙව් දූපත් වල මුහුණු. එක මුහුණක් අසූ ගණන් වල අපේ කන්තෝරුවේ වැඩ කරපු ජැමෙයිකන් කෙල්ල ජෙනිෆර් වගේ. කාශ්යප රජ්ජුරුවොත් හොඳට ජාත්යන්තර සබඳතා පවත්වලා බවයි පෙනෙන්නෙ. මම කැමතියි ඒ විදේශ ප්රතිපත්තියට. ඒ කියන්නේ මුණු බලනකොට පියවුරු පේන ප්රතිපත්තියට.

මේ සැරේ මට ලැබුණා ලඟදි සීගිරි බලන්න මඩකලපුවෙන් ආපු තරුණියක් කැටපත් පවුරට අලුතෙන් එකතු කරලා තිබුණු සටහන දකින්න. මට මතකයි කොහෙද ලියවිලා තිබුණ, අවුරුදු සිය ගණනකට කළින් සීගිරි ලඳුන් දැකපු 'සෙන්' කියන හිමි නම බිතු සිතුවම් බලල ලියූ දේ.  " ඔය පැත්තෙන් නෙමෙයි මේ පැත්තෙන් බලන්න, එතකොට පේන්නේ වෙන විධියකට" කියලයි උන්වහන්සේ ලිවුවේ. කොහොමත් අපි වගේ නෙමෙයිනෙ හාමුදුරුවරු. උන් වහන්සේලා රුප දිහා බලන්නේ පිළිකුල් භාවනාවේ කොටසක් හැටියටනේ.

ඉතින් අර ගැහැණු ළමයා කැටපත් පවුරේ කුරුටු ගාල තිබුනේ එයාගේ බෝයි ෆ්රෙන්ඩ් ගෙ නම. 'UTHAYA THANKS' කියල  කොල්ලට ස්තුති කරල. උතය (උදය) වෙන්න ඇති කෙල්ලව සීගිරි එක්ක ආවේ. හිරේ යන්න බලාගෙන හරි උතයට තියෙන ආදරේ ලියන්න හිතෙන්න ඇති. කොහොමත් ආදරේ කරන අය හිරේ යන්න බලාගෙනනෙ ඉන්නේ. ඒවිදියට බලනකොට ජනතාවගෙන් බාගයක් හිරේ.

මේ කෙල්ලව අවුරුදු දෙකකට හිරේට නියම කලානේ. මට දුක මෙයා එලියට එන කාලේ වෙනකොට බෝයි ෆ්රෙන්ඩ් උතය වෙන කෙල්ලෙක්ගෙ හදවතේ සීගිරි ගීයක් ලියලා තියෙයිද කියල? 

Sunday, March 1, 2015

කලාකාරයා හිඟන්නා ද ?

කලාකාරයා හිඟන්නා ද ?

ඩී අයි ජී අනුර සේනානායක මහත්තය ඉතාමත් වැදගත් දෙයක් කරලා තිබුනා පහුගිය දවසක. ඒ එතුමාගේ ගීත කැසට් අලෙවි කරලා ලැබුණු ආදායමින් රුපියල් කෝටියක් පොලිසියේ සුබ සාදන අංශයට තෑගි කිරීම. මගේ කිරිල්ලි කියන ගීතය ජනප්‍රිය වෙලා ඒ කැසට් එක දස දහස් ගණනින් විකිණිලා. මේකනම් ඉතාම හොඳ ආරංචියක් කණු කුණු ගගා ඉන්න කලා කාරයින්ට, සංගීත කාරයින්ට. කලාකාරයා හිඟන්නා කියලා ලංකාවේ කතාවක් තියෙනවානේ. යුරෝපයේ කොහොම වුනත් ආසියාවේ එහෙම වෙන්න පුළුවන්.

ඉතින් සේනානායක මහත්තයාට ඉස්තුති කරන්න ඕනේ මේ එක එක ජරා වැඩ වලින් සල්ලි හම්බ කරනවා කියලා චෝදනා තියෙන පොලිසියේ මහත්වරුන්ට ආදර්ශයක් වුනු එකට. කුඩු බිස්නස් වලට සම්බන්ද වුනා කියල හිටපු  පොලිස්පති තුමෙකුටත් චෝදනා තියෙනවානේ. ඒ විතරක් යැයි නොයෙකුත් අපරාද වලට සම්බන්ද වෙලා මිනී මරල ඔය සමහර පොලිස් නිලධාරීන් හිරෙත් ඉන්නේ.

ඒ එක්කම මට මතක් වුනා පුද්ගල ආදායමෙන් රුපියල් කෝටියක් දැන් දෙනකොට ඒ වගේම ගානක් රජයට ආදායම් බදු වශයෙනුත් ගෙවන්න ඕනේ නේ. ඉතින් එහෙමත් ගෙවලා සේනානායක මහත්තය රටටත් ලොකු සේවයක් කරානේ.

අර ඇමති කෙනෙක් අපේ අමරදේව ශුරින්ට කිවුවලුනේ "ඔය සින්දු කියන එක අත ඇරලා දාලා නරකද රස්සාවක් හොයා ගත්තනම්" කියලා. සේනානායක මහත්තයා සින්දු ම කිවුවනම් පොලිසියේ රස්සාවට වැඩිය හම්බ කරන්න තිබුනා. මම එහෙම කියන්නේ පොලිසියේ පඩි නඩි ගැන මමත් ටිකක් දන්නා නිසා. අපේ තාත්තාත් පොලිස් කාරයෙක්.  

Thursday, February 26, 2015

පොලිටිකල් හීනය



ගිය සුමානේ මම මාර හීනයක් දැක්කනේ. ඒ මම ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වෙලා චන්දෙන් දිනලා. අනේද කියන්නෙ. හීනෙන්ද? ඔව් ඉතින් හීනෙන් තමයි, පොඩ්ඩක් ඉන්න කියනකල්.

කොහොමත් ඇත්තටම මගේ අදහසක් තිබුණා තමයි ජනාධිපතිවරණයට ඉල්ලන්න. ඒ සිංහල සඳැස් කවිය නංවන්න කියල හිතාගෙන. අර හැම හෙළයෙක්ම කවියෙක් කියල රොබට් නොක්ස් කියල තිබුනනෙ.  ඒ නිසා ඔක්කොම හෙළයෝ මට චන්දෙ දුන්නහම නිකම්ම ගොඩ. එත් ඇප තියන්න කවියෙක් හොයාගන්න බැරි වෙච්ච නිසා ඒ අදහස නිකම්ම අත හැරුණා.

අර හීනෙන්ම මට පෙනුණා මගේ ප්රතිපත්ති ප්රකාශනය. මගේ චින්තනය. ඒ කියන්නෙ මම දිනුවොත් කරන්නනෙ මොනවද කියල. ඒක තනි පිටේ ලියවිල්ලක්. තිබුනෙ ප්රයිවෙට් බස් ගැනයි, මෝටර් සයිකල් ගැනයි, ත්රී වීලර් ගැනයි විතරයි.


මම දිණුවොත් ප්රයිවෙට් බස් වල නළාව ගලවල දානවා කියල ඒකෙ තියෙනව. බුදු අම්මො එහෙම දෙයක් හිතන්නවත් පුලුවන්ද? නලාවක් නැත්නම් බස් එකක් ප්රයිවෙට් බස් එකක් වෙන්න බෑනේ.

අනික් චින්තනය තමයි මෝටර් සයිකල් වල අමතර කොටස් ගෙන්නන්නත් නිපදවන්නත් තහනම් කරන එක. ඒ කියන්නෙ කාලයක් යනකොට ලංකාවේ මෝටර් සයිකල් කොට උඩ. එතකොට එගොලන්ට නිකන්ම කාර් ගන්න සිද්ධ වෙනවනෙ. මටම මගේ ගැන හරිම පිළිකුලක් ඇතිවුණා ඒ වගේ පවුකාර චින්තනයක් ඇති වෙච්ච එක ගැන. විලි ලැජ්ජයි. අනේ අර රෝන්ග් සයිඩ් එකෙන් ඉස්සරහට එන, වම්පැත්තෙන් ඕවර්ටේක් කරන, කලර් ලයිට් ගාව එක පොදියට පොරකන, වමින් ගිහිල්ලා එක පාරටම ලඟම තියෙන වාහනේ ඉස්සරහින් දකුණට හරවලා සියදිවි නසාගන්න හදන, ඒවගේම එක පාරටම කාරෙකක් ඉස්සරහින් කනත්තට හරවන අහිංසක මෝටර් සයිකල් සහෝදරයන්ට මොකද වෙන්නෙ?. මං වගේ තුට්ටු දෙකේ චින්තකයෙක්.

මෙන්න මේ තුන්වෙනි චින්තනය නම් ටිකක් සලකලා බලන්න පුළුවන්. ඒක මෙහෙමයි. " ශ්රී ලංකාවේ පාවිච්චියේ පවතින ත්රී රෝද රථ සියල්ලම රජ සතු කරනවා ඇත. ඒ වෙනුවට ඒ සියල්ලටම 'නැනෝ' වැනි කුඩා මෝටර් රථයක් බැගින් රජයේ මුදලින් නොමිලයේ ලබා දෙනු ඇත.එවැන්නක් කිරීමෙන් අපටම ආවේනික අද්විතීය රියදුරු ක්රමවේදයක් අපට අහිමි වීමට ඉඩ ඇතත් මගේ විදේශීය ප්රතිපත්තිය ඉන්දියාවට රිදවීම නිසා එය එසේ සිදු කෙරෙනු ඇත.   ශ්රී ලංකාවේ ප්රවාහන දියුණුව අඩපන කිරීමේ ඉන්දියන් කුමන්ත්රණයක් යයි අප කල්පනා කරන ලංකාවට ත්රිරෝද රථ ගෙන්වීම මුළුමනින්ම නවතා දමනු ඇත  සියලුම ත්රිරෝද රථ නැවත ඉන්දියාවට නොමිලයේම පටවනු ලබන අතර එමගින් එරටට ඇතිවන ව්යසනය දිට්ට ධම්ම වේදනීය කර්මයක් ලෙසින් සලකා අප සිත් සනසවා ගන්නවා ඇත. එය "සතුරාට සතුරා ඔසවා ගැසීමේ" න්යායක් ලෙසින්ද සලකා බලනු ඇත.

 එම සිහිනයේම අතුරු සිහිනයක් ලෙස පෙනුනේ මගේ ප්රතිපත්ති ප්රකාශය නිකුත්වූ දා පටන් මට පිට රටක ජීවත් වීමට සිදුවූ බවත් නැවත ලංකාවට ඒමට නොලැබෙන බවත්ය.

එහෙත් පදිකයන්ගේ සහ වාහන හිමියන්ගේ (ත්රීවීලර්, මෝටර් සයිකල්, ප්රයිවෙට් බස් හැර) සියලුම චන්ද මට ලැබී තිබුණු නිසා මා ශ්රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කර ඇති බව, වරක් අතුරුදහන් වූ මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්රකාශයට පත්කොට ඇති බව මා සිටින රටේ පුවත්පත් මගින් සිහිනයෙන්ම දැන ගතිමි. 

Wednesday, February 25, 2015

කැහි ගෑණි දීලා හොටු ගෑණි ගැනීම

මම  මේ තීරු ලිපිය ලිවුවේ 1999 දෙසැම්බර් මාසෙ ලන්ඩනයේ පළවුණු ලංකා විත්ති පුවත්පතට. අද  2015 පෙබරවාරි 26 දා ඒ ලිපිය එක අකුරක්වත් වෙනස් කරන්නේ නැතුවත් පල කරන්න පුළුවන්. ඔබලාට අවශ්යනම් දිනය මාරු කරලා කියවන්න.
කැහි ගෑණි දීලා හොටු ගෑණි ගැනීම
"ඉකේයියා ....." මේ හෙඩිම ගැන මුහුණ ඇඹුල් කරගෙන අප්පිරියාවෙන් ඔබ කියවනවා ඇත. එහෙත් අපට වූ ප්රශ්නය මීට වඩා හොඳ යමක් සොයා ගන්නට බැරිවීමයි. දහ අතේ කල්පනා කලත් ලැබුණේ නැත.
"පසු ගිය දාහත් අවුරුද්ද මුළුල්ලේ රටේ වටිනා ධනය නැති නාස්ති කරමින් දේශපාලඥයන් සඳහා ගෙන්වා ඇති සියලුම සුඛෝපභෝගී වාහන අපි බලයට පත්වූ දාට පසුවදා කොළඹ ගාලු මුවදොර පිට්ටනියට ගෙනවුත් වෙන්දේසි කර දමන්නෙමු. ....තවද , එදාම, මෙතෙක් රට විකුණාගෙන කෑ දුෂිතයන් සියල්ලන් ම රංචු පිටින් දැක්කා ගෙනැවිත් ඒ ගෝල් ෆේස් පිට්ටනියේ ම ලයිට් කණු වල එල්ලන්නෙමු. "
රටක් හදන්න නම් එවැනි නිර්බීත තීරණ ගත යුතුය. අත ගගා ඉඳලා හරි යන්නේ නැත. අපේ රට 'හරි ලයින්' එකට වැටී ගෙන එන්නේ දැන් ය. මෙතෙක් ලාංකික ජනතාව විඳි දුක් කරදර හිරු දුටු කදෝ පැණියන් මෙන් අතුරුදන් වන්නේය. හිතට පුදුම සහනයක් සහ සන්තෝෂයක් දැනිණ. ජනතාවගේ අත් පොළසන් සහ ඔල්වර හඬින් මුළු පරිසරය ම ගිගුම් දෙන්නට විය.
එල්ලෙන මළමිනී බලන්නට නම් කිසිම හිතක් නැත. එහෙත් වාහන වෙන්දේසිය නම් බැලිය යුතුමය. අප කාටත් හොරා මේ යක්කු මොන මොන විදිහේ සුඛෝපභෝගී වාහන කන්දරාවක් ගෙන්නලා ඇත්ද? දැන් ඒ සියල්ල ම දකින්නට පුළුවන. මැතිවරණයට පසුදා කඩිමුඩියේ,  උදෑසනම අවදි වී යන්තම් මුහුණේ වතුර ටිකක් ගා ගෙන ගෝල්ෆේස් පිට්ටනියට දිවුවෙමු.
හොඳට සෝදිසියෙන් වටපිට බැලීමි. අහෝ පුදුමයකි! අර කිවූ මැති ඇමැති සැප පහසු වාහන එකක්වත් දකින්නට නැත. කෝ... මේ වෙන්දේසිය උදේ පාන්දරින්ම පටන් අරන් ඉවර වුණා වත් ද? ත්රී වීලරයක් හෝ බයිසිකල් කාරයෙක් ඉඳහිට ඒ මේ අත ගියේය. පිට්ටනිය පසෙක පරණ මොරිස් මයිනර් කට්ටක් 'හුචු හුචු' ගාමින් ඇන්ජිම පණ ගන්නවා ගන්නට බැරුව දහිරිය දමමින් තිබුණි. බැරිම තැන වාහනේට තල්ලුවක් දෙන ලෙස රියදුරු එතැන සිටි කඩල කාරයාගෙන් ඉල්ලනවා පෙනිණ . එය නම් අර කිවූ ආකාරයේ සුඛෝපභෝගී රථයක් විය නොහැකිය. එල්ලා ඇති දුෂිතයන් ගණන් කරනු පිණිස ලයිට් කණුවල උඩ බලමින් ගෝල්ෆේස් පිටියේ මේ කෙළවරේ සිට ඒ කෙළවර පරණ පාර්ලිමේන්තුව හරියට ඇවිද ගියෙමු. දුෂිතයෙක් තබා විදුලි සැර වැදී මැරී සිටින වවුලෙක්, කාක්කෙක් වත් ඒ එකද ලයිට් කණුවක නොවීය. සත පනහකට බෝල කඩල ගොට්ටක් ගෙන ඇටයෙන් ඇටය ගිල දමමින්, වාහන වලට අහු නොවී, සීරුවෙන් පාර පැන ගෙන, ගිනි අව්වුවේ ආපසු ගෙදර ඇවිද ගෙන ආවෙමු.
දැන් වෙනදාටත් වඩා වේගයෙන් විවිද මාදිලියේ, සැප පහසු, මිල අධික වාහන කොළඹ පටු පාරවලත් දුවයි. සූරා කෑම, ගසා කෑම වේදිකාවේ පට්ට ගැසූ, කිසිදාක අලුත් වාහනයක නොගිය අලුත් ඇමතිතුමා වාහනයේ වේගය දරාගත නොහැකිව ඒ තුල කොක්කේ එල්ලී සිටී. වායු සමනය කර ඇති නිසා ඔහුට දාඩිය දැමීමේ ප්රශ්නයක් නැත. අපි සුපුරුදු පරිදි හත් අට පොළකින් නැමී, පුද්ගලික බසයේ පාපුවරුවේ හෝ යාම සඳහා ගිනි කාස්ටක අවුවේ තුම්මුනින් බේරෙන දාඩිය පිස දමමින් බස් නැවතුමේ සිටිමු. අහෝ! මේවාට හිනා යන්නේ ද නැත. 1948 දී ලංකාවට නිදහස ලැබුණු දා පටන් අපේ රටේ දුවන පාර්ලිමේන්තු ක්රමයේ මේ දැන් වනතුරුත් මාරුවෙන් මාරුවට සිටියේ කට්ටි දෙකකි. එයින් පිට වෙන කිසිම කෙනෙක් සිටියේ නැත. ඒ කට්ටි දෙක ලංකාව නමැති කෑම මේසයට මාරුවෙන් මාරුවට වාඩි වෙති. කාලා කට්ටියක් ගිය සැණින් අනෙක් කට්ටිය වාඩි වෙති. චන්දදායකයන් හෙවත් මහජනයා කරන්නේ අර මේසෙට වාඩි වුනු කට්ටියට අත දිග ඇරලා බෙදීමය. සමහරු කන හැටි බලන් ඉන්නත් අප්පිරියය. සිංහලයා කන්න බොන්න දෙන්න ආගන්තුක සත්කාරයට රුසියෙකි. ඒ නිසා ඔවුන් කරන්නේ මේසේ ඉන්න කට්ටියට ඉස්මුරුත්තාව හැදෙන කල් කැවීමය. වැටේ වනන්න පුළුවන් තරම් කෙට්ටුවට ආ සමහරු මේසෙන් නැගිටලා යනකොට අඳුනන්නත් බැරි තරම් මහතය. කලින් කාලා ගිය අයට ආයිත් මේසයට වාඩි වෙනකල් ඉස්පාසුවක් නැත. " ඔය කෑවා මදෑ. ..දැන් ඔය කට්ටිය නැඟිට්ටවලා අපිව වාඩි කරවන්න කෝ .."හිටගෙන ඉන්න ඇත්තෝ කෑම බෙදන අයට ඇවිටිලි කරති.
දැන් මේ නැවතත් පැමිණ ඇත්තේ කෑම මේසයට වාඩි වීමට වතුර ඇල්ලීමේ වෙලාවයි. ප්රතිපත්ති මාලාවක් මුද්රණය කර බෙදා හරිනු ලැබේ. ඒවා කියවන්න වෙලාවක් ඇත්තේ කාටද? ජනතාවට ඒවා අවශ්ය නැත. ඒවා නොකෙරන බව ඔවුහු දනිති. 'කවුරු ආවත් එකයි'. එදා කී දේම අදත් ජනතාව කියති. ලබන සැරෙත් ලාංකිකයාගේ හිතට එන්නේ ඔහු හැම චන්ද වාරයකදීම මුහුණ දෙන මේ ප්රශ්නයයි. වඩා හොඳ කවුද? කැහි ගෑණි ද? හොටු ගෑණි ද?